කුරුණෑගල නගරයේ ප්රධාන මිශ්ර පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනෙකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන එම පාසලේ ඉංග්රීසි විෂයය උගන්වන ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යෙදවූ බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
සැකකාර ගුරුවරයා පොතුහැර ප්රදේශයේ පදිංචි පනස්පස් හැවිරිදි දෙදරු පියෙකු වන අතර දෙමාපියන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු ප්රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තාවේ.
සැකකරු තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවද කියයි.
දිනපතාම සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් ඊට ගොදුරුවූ සිසුවියන් නිවසේදී තම දෙමාපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අතවරයකට ලක්ව සිටින සිසුවියන්ගේ දෙමාපියන් සමඟ තවත් දෙමාපියන් පිරිසක් මේ පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇත. නමුත් විදුහල්පතිවරයා එම පැමිණිලි නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ දෙමාපියන් පිරිසට එරෙහිවද නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම ගුරුවරයාගෙන් අතවරයට ලක්ව සිටින තවත් සිසුවියන් සිටීනම් ඒ සම්බන්ධයෙන් පැමිණ පොලීසියට පැමිණිලි කරන ලෙසදපොලීසිය දෙමාපියන්ට දන්වා සිටී.
ගීතාංජලී ප්රියදර්ශනී